නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා -චිත්ත වග්ග, ධ.ප. ශ්‍රද්ධාවන්ත පින්වතුනි! මේ අතිභයානක සංසාර දුක්ඛයෙන් මිදීමේ යෝග ප්‍රයත්නය මාර සංග්‍රාමයක්, මාර සටනක් හැටියට බුදුපියාණන් වහන්සේ බොහොම අවස්ථාවල දක්වල තිබෙනවා. එහෙම ඒ මාර සංකල්පය ඉදිරිපත් කරල තිබෙන්නෙ, සටන් සංකල්පයක් බුදුපියාණන්වහන්සේ අපේ සිත් කුළට දාන්නේ, මොකද කියල අපි ටිකක් හිතල බලන්ට ඕන. සාමාන්‍යයෙන් මේ සංසාර දුක්ඛයෙන් මිදීම සඳහා භාවනාව ආරම්භකරන යෝගාවචර පින්වතුන්ට පිටතිනුත් ඇතුළතිනුත් බාධක රාශියක් ඉදිරිපත් වෙනවා. ඒ බාධක හමුවේ බොහෝවිට භාවනා යෝගීයා හිත දුර්වල කරගන්නවා, අධෛර්ය වෙනවා, පසුබට වෙනවා. අන්න ඒ පසුබට වෙන ගතිය ඉවත් කරල ධෛර්ය සම්පන්න කිරීමටයි බුදුපියාණන් වහන්සේ මේ කෙලෙස් සටන මාර සංග්‍රාමයක් හැටියට දැක්වූයේ. මොකද ඒකට හේතුව, මිනිස් සිත තුළ ගැබ්වෙලා තිබෙන මේ සටන්කාමී බව මතුකර දීම එබඳු ඒ සිත අධෛර්යවෙන-පසුබට වෙන අවස්ථාවල්වල සිත ශක්තිමත් කරගැනීමට උපකාර වෙනවා. අන්න ඒක නිසා බුද්ධ දේශනාවේ ඒ ඒ තැන්වල මහ පුදුම විදියේ සටන් පාඨ, මාර සංග්‍රාමය පිළිබඳ සටන්පාඨ, සඳහන් වෙනවා. ඒ වගේ, ඒ සටන් පාඨයක් වගේ, ගාථා ධර්මයක් තමයි අපි මේ මාතෘකා වශයෙන් තෝරාගත්තෙත් මේ අවස්ථාවේ. මේ ගාථාව බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාරන්ට හේතුවුන අවස්ථාව පොත-පතේ සඳහන්වන්නේ මෙහෙමයි. බුදුපියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේ විදර්ශනා භාවනා වඩන පන්සියයක් භික්ෂූන්වහන්සේලා බුදුපියාණන් වහන්සේගෙන් භාවනා කර්මස්ථාන ලබාගෙන ඈත ගමකට, හොඳ පහසු ස්ථානයක විදර්ශනා වැඩීමේ අදහසින් පිටත්ව වැඩම කළා. ඒ විදියට ඒ යෝගාවචරයන් ගිහිල්ල එක්තරා ස්ථානයකට වැඩම කරල-එක්තරා ගමකට-ඒ ගමේ පින්වතුන් එහෙම වඩින අතරේ ඒ ශ්‍රද්ධාවන්ත මනුෂ්‍යයින් සංසයාවහන්සේලාගේ අදහස් විමසල, මෙහෙම භාවනාවට සුදුසු තැනක් සොයන බව තේරුම්ගත්තට පස්සේ, ආරාධනාකරල ‘මේ කිට්ටුව හොඳ විවේක වන ලැහැබක් එහෙම තිබෙනවා. මේක ආශ්‍රිතව ස්වාමීන්වහන්සේලා මේ තුන් මාසය වැඩ වාසය කරන්න. අපටත් සිල් රකින්න, තුණුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇතිකර ගන්න, හොඳ අවස්ථාවක් වෙනවා’ කියල එහෙම ආරාධනා කළා. මේ සංසයාවහන්සේලාත් ඒ ආරාධනාව අනුව අර කියාපු අර විවේක වන ලැහැබට ඇතුළු උනා. ඒ වන ලැහැබේ ගස්වලට අධිගෘහිත, අරක්ගත්තු, වෘක්ෂදේවතා පිරිස මේ ස්වාමීන්වහන්සේලා ශීලවන්ත නිසා ඒ ශීල තේජස ගැන කල්පනාකරල හිතුවා මේ ස්වාමීන්වහන්සේලා බිම ඉඳිද්දී අපි ඉහළ ඉන්න එක සුදුසු නෑ කියල, ගස්වලින් බැස්සා. කල්පනාකරල මේ ස්වාමීන්වහන්සේලා අද රෑ විතරයි මෙතන වාසය කරන්නේ කියල. නමුත් මේ ස්වාමීන්වහන්සේලා ගමට පිණ්ඩපාතේ වැඩිලා නැවත ඊළඟ දවසෙත් ඒ ස්ථානයට පැමිණිය. අන්න ඊළහට මේ දේවතාවුන්ට දිගටම ඒ විදියට බිම ඉන්න සිද්ධ වෙනවා කියන හැඟීම ඇතිවුනා. දවස් ගණනක්ම ඒ විදියට සංසයාවහන්සේලා නැවතෙනකොට ඊළහට මේ දේවතාවුන් තේරුම්ගත්තා මේ ස්වාමීන් වහන්සේලා මාස ගණනක්ම මෙතන ඉන්නවා වෙන්න ඇතෙයි කියල. ඊළහට කල්පනා කළා ‘අපි කොයි ආකාරයකින් නමුත් මේ ස්වාමීන් වහන්සේලා පන්නා ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ගස්වලට ආයිත් නැගින්න බැරිවෙනවා. ගස්වල වාසය කරන්න බැරි වෙනවා’ කියල හිතාගෙන මොකද කළේ මේ ස්වාමීන්වහන්සේලා භාවනාකරන ස්ථානවල නොයෙකුත් විදියේ රූප දක්වන්න පටන් ගත්තා. හිස්සුන් මළකඳන් ආදී බියජනක රූප ඒ වගේම අමනුෂ්‍ය ශබ්ද, සක්මන් කරන තැන්වල එහෙම-ඒ විදියට මේ ස්වාමීන්වහන්සේලා බය කරන විදියේ දේවල් පෙන්නුම් කළා. මේ ස්වාමීන්වහන්සේලාත් හිසේ ඇතිවුන බය නිසා හරියට නිදි එහෙම ලබන්නේ නැතිව රෝගී උනා. එක එක ස්වාමීන්වහන්සේලාට එක එක රෝග. ඉතින් උන්වහන්සේලා මුවුනොවුන් අතරේ සාකච්ඡා කරන අතර මෙන්න මේ විදියේ දර්ශනයක් දැක්කා කියල ප්‍රකාශ උනාට පස්සේ ඊළහට කල්පනා කළා අපිට මේක සප්පාය තැනක් නොවෙයි. මේ විදියේ අමනුෂ්‍ය උපද්‍රව තියෙන තැනක්. අපි යන්න ඕන වෙන තැනක් හොයා ගන්න. පළමුවෙන්ම බුදුපියාණන් වහන්සේට මේ කාරණය දන්වන්න ඕන කියල නැවතත් බුදුපියාණන් වහන්සේ සොයා ගෙන වැඩම කළා. බුදු පියාණන් වහන්සේ ඇසුවා “මොකද මහණෙනි, මේ නැවත ආවේ” කියල. එතකොට ‘මෙන්න මේ විදියේ උපද්‍රව කරදර අපට තිබෙනවා’ කියල ප්‍රකාශ කළා. නමුත් බුදුපියාණන් වහන්සේ වදාළා “මහණෙනි ඒ උනාට එතනටම යන්ට ඕන. එතන තමයි ඔය නමලට හොඳ තැන” කියල ඔහොම ප්‍රකාශ කළා. මේ ස්වාමීන්වහන්සේලා නැවතත් බැගෑපත්ව කියා හිටියා “අනේ අපට නම් එතෙන්ට තවත් යන්න බෑ” කියල. එතකොට බුදුපියාණන් වහන්සේ වදාළා “මහණෙනි, නුඹලා ඒ ගිය ආයුධයක් නැතිවයි. හරියට ආයුධයක් අරගෙනම මේ සැරේ පිටත්වෙන්න” කියලා. එතකොට ඒ සංසයා වහන්සේලා ඇසුවා “මොකක්ද භාග්‍යවතුන් වහන්ස! ඒ ආයුධය” කියල. ඒ ආයුධය තමයි ඊළහට ඊළඟට බුදුපියාණන් වහන්සේ මෙත්ත සුත්‍රය හැටියට ඉදිරිපත් කළේ. පළමුවෙනි වරට ඒ සංසයාවහන්සේලා වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයාට උපකාර වන මේ මෙත්ත සූත්‍රය වදාළා. “මේ මෙත්ත සුත්‍රය පාඩම් කරගෙන ඒ වන ලැහැබට ඇතුල්වන අවස්ථාවේ ඈත ඉදලම සජ්ඣායනා කරමින් ඇතුල් වෙන්න. ඒක නිතර පරිහරණය කරන්න” කියල බුදු පියාණන් වහන්සේ අර සංසයාවහන්සේලාට අවවාද දුන්නා. ඒ සංසයාවහන්සේලාත් ඒ ආකාරයෙන්ම ඒ වන ලැහැබට පිවිසෙන අවස්ථාවේ ඉදලම සජ්ඣායනා කරමින් ඇතුල් වුනා. ඒ කරණීය සුත්‍රය ආශ්‍රය කරගෙන මෛත්‍රී සිත ඇතිකර ගත්තා. ඒ මෛත්‍රී බලය නිසාම අර කලින් කරදර කළ දෙවි දේවතාවුන්ගේ සිත මෘදු මොළොක් වෙලා-එතන සඳහන් වෙනවා-වෙන එකක් තබා පෙර ගමන් කරලා නොයෙකුත් ආකාරයෙන් ඒ සංසයාවහන්සේලාට වත් පිළිවෙත් කිරීමට පවා ඉදිරිපත් වුනයි, ඒ වගේම ආරක්ෂා සංවිධාන පවා යෙදුවයි කියල. අර අමනුෂ්‍ය ශබ්ද, නොයෙකුත් රූප පෙනීම් ආදිය එහෙම පිටින්ම නැති වුනා. සංසයාවහන්සේලාට හොඳට භාවනා කරගන්න, සිත සැනසුම් කරගන්න පුළුවන් විදියේ පරිසරයක් ඇතිවුනා. ස්වාමීන් වහන්සේලාගේ සිත එකඟවුනා, මෛත්‍රී සමාධිය එහෙම උපකාරී කරගෙන. එහෙම එකඟවුනාට පස්සේ අන්න අර ස්වාමීන්වහන්සේලා සිත ඊළඟට විදර්ශනාවට නැඹුරු කර ගත්තා. තමන්ගේ මේ ශරීර කුඩුව ගැන හිතලා මේ ශරීර කුඩුව හරියට බිඳෙන සුළු කළයක් වගේයි කියල මේකේ අස්ථීර ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන හිතමින් මේ පන්සිය නමම විදර්ශනාව වඩන්ට පටන් ගත්තා. මේ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අර යොදුන් ගණන් ඈත ජේතවනාරාමයෙහි වැඩ වාසය කරමින් ඉන්න අවස්ථාවේ මේ සංසයාවහන්සේලා පිළිබඳව නිරීක්ෂණය කළා-බුදුපියාණන් වහන්සේගේ විශේෂ දෙයක් තමයි ඒ තමන් කමටහන් දීල පිටත්කළ සංසයාවහන්සේලා කොයි තැනක, කොයි තරම් දුරක සිටියත්, ඒ බුද්ධඥානයට-ඒ බුද්ධඥානදැලට-ඇතුළත් කරගෙන-දැන් මේ කාලේ කිසිම යන්ත්‍රයකින් පෙන්නුම්කරන්නට බැරි තරම් මහා පුදුම විදියේ බුද්ධ ඥානයක් තිබෙන නිසා බුදුපියාණන් වහන්සේ ඒ තමන් කමටහන් දුන්නු ශිෂ්‍යයින්ගේ සිත ක්‍රියාකරන ආකාරය ගැන නිතර සෙවිල්ලෙන් සිටිනවා. ඒක නිසා දුටුවා මේ පන්සිය නමම දැන් විදර්ශනා මාර්ගයට බැහැලයි සිටින්නේ, ඒ පැත්තෙයි සිතිවිලි යන්නේ කියල උන්වහන්සේල ආරම්භ කළ, ඒ කළය පිළිබඳ කර්මස්ථානය හැටියට හිතට ගත්තු අදහස මුල් කරගෙනම බුදු පියාණන් වහන්සේ ඊළහට අපි අර මුලින් සඳහන් කළ ගාථා ධර්මය ප්‍රකාශ කොට වදාළා. ඒ ගාථා ධර්මය කොයිතරම් අර්ථවත්ද කියතොත්, කොයි තරම් භාවනාවෙහි ගැඹුරු අංශ ඒක තුළ ගැබ්වෙනවද කියතොත්, ඒ ගාථා ධර්මය අහල අර සංසයාවහන්සේලා සිව්පිළිසිඹියාපත් මහ රහතන්වහන්සේලා බවට පත්වුනා කියල සඳහන් වෙනවා. එතකොට ඒ ගාථා ධර්මය අපි නැවතත් මතක් කර ගනිමු. ’කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා.’ “කුම්භූපමං කායමිමං විදිත්වා”-මේ කය, මේ ශරීරය, කළයකට උපමාකළ හැකි බව දැනගෙන, තේරුම් අරගෙන, “නගරූපමං චිත්තමිදං ඨපෙත්වා”-මේ අපේ සිත නගරයකට උපමා කළ හැකි තරම් ඒ තත්ත්වයේ තබාගෙන, ආරක්ෂා කළ යුතු නගරයක් හැටියට සිතාගෙන, “යොධෙථ මාරං පඤ්ඤායුධෙන”-ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයා සමඟ යුද කරන්න, යුද කරව. “ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා”-එහෙම යුද කරල ජයක් දිනාගත්තා නම් ඒක ආරක්ෂා කරගන්න. හැබැයි “අනිවෙසනො සියා” ඒ දිනාගත්තු දෙයෙහි ඇලී ගැලී පැලපදියම් වී සිටින්නට එපා. එතනම නැවතිල ඉන්න එපා” කියන ඒ විශේෂ අවවාදයකුත් ඒ ගාථාවේ සඳහන් වෙනවා. එතකොට මේක ඉතාමත්ම ගැඹුරු ගාථාවක්. විශේෂයෙන්ම භාවනාවට යොමුවන අයට මේ ගාථාවෙන්, අර ධර්ම කථාවෙන්-අර නිදාන කථාවෙන්-ගත යුතු විශාල උපදේශ රාශියක්, ඉතාමත්ම වැදගත් උපදේශ රාශියක් අපට හෙළිදරව් කරන්නට පුළුවනි. දැන් ඒ නිදාන කථාව ගැන අපි මොහොතකට හිතල බැලුවොත් එතනින් පෙන්නුම් කරන්නේ දැන් අර ස්වාමීන් වහන්සේලා විදර්ශනාව වඩල නිවන දකින්න හිතා ගෙනයි වැඩම කළේ. ඒ නමුත් ස්වාමීන්වහන්සේලා ශීලයෙන් සම්පූර්ණ නමුත් සමාධිය පැත්තෙන් යම්කිසි අඩුපාඩුවක් කිබුනා-සමථය කියල කියන සමථ පැත්තෙන්. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව හරියට පුරුදු කරල නෑ. මෛත්‍රී පැත්තෙන් අඩු නිසා වෙන්ට ඕන අර තරම් උපද්‍රව වලට මුහුණපාන්න සිද්ධ උනේ. ඊළහට බුදුපියාණන් වහන්සේ අර කරණීය සුත්‍රයෙන් දක්වා වදාළ උපදෙස්වල ආනිසංස වශයෙන් තමයි උන්වහන්සේලාට හිත සමාධිමත් කරගන්න පුළුවන් වුනේ. එතැනදී අපි කල්පනා කළයුතුව තිබෙනවා බුදු පියාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාවේ ආනිශංස වශයෙන් ආනිශංස එකොළහක් දක්වල තිබෙනවා. ඒ ආනිශංස එකොළහෙන්, රාශියක්ම මේ ස්වාමීන්වහන්සේලා අත්දකින්ට ඇති. ඒ කියන්නේ. සුඛං සුපති-හොඳට නිත්ද යනවා මෛත්‍රී වඩන පුද්ගලයාට සුඛං පටිබුජ්ඣති-ඒ වගේම ප්‍රබෝධවත්ව අවදිවෙනවා. න පාපකං සුපිනං පස්සති-නරක සිහින, නපුරු සිහින. බයවෙන සිහින පෙනෙන්නේ නෑ. මනුස්සානං පියො හෝති-මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. අමනුස්සානං පියො හෝති-අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති-දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති-එබඳු ඒ මෛත්‍රී භාවනාව කරන තැනැත්තාගේ ශරීරයට ගින්නෙන්, වස විස වලින්, ආයුධ වලින්, වන ඒ විදියේ අනතුරු වැළැකී යනවා. තුවටං චිත්තං සමාධියති-බොහොම ඉක්මණින් සිත සමාධිමත් වෙනවා. මුඛවණ්ණො විප්පසීදති-මුහුණේ වර්ණය, ශෝභාව, දීප්තිය වෙනවා. අසම්මූළ්හො කාලං කරෝති-නොමුළාව කාලක්‍රියා කරනවා. ඒ කියන්නේ හොඳ සිහියෙන් මැරෙනවා. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හෝති-විදර්ශනාව වඩලා රහත්වුනේ නැත්නම්, ඒ වගේ උසස් තත්ත්වලට ගියේ නැත්නම්, යටත් පිරිසෙයින් අර මෛත්‍රී ධ්‍යානයේ බලයෙන් බ්‍රහ්මලෝකයේ හෝ උපදිනවා කියල ඒ විදියට එකොළොස් ආනිශංසයක් බුදු පියාණන් වහන්සේ දක්වල තිබෙනවා. අන්න ඒ ආනිශංස අනුව තමයි අර සංසයාවහන්සේලාට කලින් දැක්ක බියකරු දර්ශන ආදිය නිසා යම් යම් පීඩාවල් ඇති උනාට ඒවා සංසිඳිලා හිත තෘප්ත කරගන්නට පුළුවන් වුනේ. එතකොට එයින් අපට සමථයේ අගය මේ කථාන්තරයේ මූල කොටසින් පෙනෙනවා. ඊළහට එහෙම තෘප්ත වුන සිතට මේ විදර්ශනාවෙහි අගය වැටහුනා. තවත් පැත්තකින් කියනවා නම් දැන් ඒ සමථයෙන් විතරක් සෑහීමකට පත්විය යුතු නෑ. ඒක නිසා සමථය වඩපු කෙනා ඊළහට විදර්ශනාවට නැඹුරු වුනා. මොකද, බුද්ධෝත්පාද කාලයකින් ගතහැකි උපරිම ප්‍රතිඵලය තමයි මාර්ගඵල අවබෝධය. නිවන දැකීම. ඒක නිසා ඒ විදියට සමථයෙන් විදර්ශනාවට නැඹුරු උනා. එබඳු අවස්ථාවේදී තමන්ගේ ශරීරය ගැන කල්පනා කරල ඒක කළයකට උපමා කළා. ඇත්ත වශයෙන්ම මේ සංස්කාර කියන්නේ, මේ අපේ සිත්වලින් කෙරෙන සකස් කිරීම්, කර්ම ආදිය රැස්කිරීම. මහා ගැඹුරු අර්ථයක් තියෙනවා සංස්කාර කියන වචනය තුළ. එබඳු ඒ සිතේම ක්‍රියාත්මක වන ශක්තීන් තුළින් තමයි මේ අපේ ශරීර කුඩු පවා මැවෙන්නේ. ඊළහට විශේෂයෙන්ම මෙතන මේ ප්‍රකාශ කරන්නේ සංස්කාරවල බිඳියන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා බිඳීයනව. මේ අපි ඝන දෙයක්, ඇත්ත දෙයක් හැටියට සලකන. ලොකු දෙයක් හැටියට සලකන, ශරීර කුඩුවත්, ඉතාමත්ම ඉක්මණින් අපට නොපෙනෙන තරම් වේගයකින් ඇතුළතින් දිරාපත් වෙනවා. මොහොතක් මොහොතක් පාසා. ඒක සාමාන්‍ය ලෝකයාට රූපයට තියෙන ඇල්ම නිසා වැටහෙන්නේ නෑ. එතකොට යෝගියාට සියුම්ව සිත තැන්පත් වෙන්ට තැන්පත් වෙන්ට ශරීරයේ ඒ මොහොතක් මොහොතක් පාසා වන වෙනස්කම් අනුව මේක බිඳියන ආකාරය වැටහෙනවා. ඇතිවීම් නැතිවීම් රාශියක් මේ ශරීර යන්ත්‍රය තුළ ක්‍රියාත්මක වන බව, ඒ වගේම, ඒක නිසාම, මේක හරියට අර කුඹලා මැටි භාජනයක් හදන්නා වගේ සංස්කාරවලින් මේ ශරීර කුඩුවක් මේ අනිකුත් දේවලුත් හැදෙනවා කියන හැඟීම, අවබෝධය, එනවා. ඉතින් මෙතන විශේෂයෙන්ම මේ කායගතාසතියට අනුව කයේ බිඳී යන ස්වභාවය වැටහෙනවා. සාමාන්‍යයෙන් නිත්‍ය සංඥාවයි ලෝකයා තුළ තිබෙන්නෙ මේ ශරීර කුඩුව පිළිබඳව. ඇළුම් බැඳුම් හැම එකටම මුල වෙන්නේ මේ ශරීර කූඩුවයි. අන්න එබඳු ඒ ශරීරය බිඳෙන මැටි වළඳකට එහෙම නැත්නම් කළයකට උපමා කළහැකි බව සංසයාවහන්සේලාට තේරුන අවස්ථාවයි. ඒ අවස්ථාවෙම තමයි බුදු පියාණන් වහන්සේ අර විදියට අර ගාථා ධර්මය දේශනා කළේ. දැන් අපි බලමු මේ ගාථාවේ අඩංගුවෙන ගැඹුරු අදහස් එකින් එක. “කුම්භූපමං කායමිමං විදිත්වා” මේ කය අර විදියේ කළයක් බව තේරුම් අරගෙන-දැන් බොහෝ විට ලෝකයා, සාමාන්‍ය ලෝකයා, මේ කය වෙනුවෙනුයි නොයෙකුත් පව්කම් කරන්නේ. මේ කය බිඳියන එකක් බව, මොහොතක් පාසා දිරායන එකක් බව, කොයිතරම් උත්සාහ කළත්, කොයිතරම් සැපසාන්තු කළත් අවුරුදු සියයකට මැදින් එහෙම නැත්නම් ටිකක් ඊට එහායින් මේ ශරීරය අතහැරල යන බව, ඒ සියල්ල අමතක කරගෙන මේ කය වෙනුවෙනුයි බොහෝ දෙනා පවිකම් කරන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් දැන් අර සංසයාවහන්සේලා පවා කයට පමණට වැඩිය තැන දුන්න නිසා වෙන්න ඇති බයවෙලා වගේ අපට නම් තවත් එතෙන්ට යන්න බෑ කියල ප්‍රකාශ කළේ. දැන් මේ පින්වතුන් හොඳට දන්නවා යුද්දෙට යන කෙනෙක් ඒ තමන්ගේ ශරීරයට තිබෙන ඇල්ම එහෙම කියාගෙන හිටියොත් යුද්ධෙ කරන්න බෑ. ඒ වගේ තමයි මේ මාරසංග්‍රාම සංකල්පය බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ යෝගාවචරයට. මේ කයට සාත්තු කර කර මේක රැක ගන්ට ඕන කියන ඒ අදහස මුල්කර ගත්තොත් කවදාවත් ඒ යෝගාවචරයාට ජීවිතය සාර්ථක කරගන්ට බෑ. අර යුද්ධයට යන කෙනා ඒ වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කරනවා. මරණය හෝ තරණය කියන අධිෂ්ඨානයෙන් ගඟකට බැස්ස කෙනෙක් පිහිටනන්නේ, මරණය හෝ තරණය කියල. අන්න ඒ වගේ ජයග්‍රහණය දක්වා ජීවිත පූජාවෙන් ඒ කටයුත්තෙහි යෙදෙන්නේ. යෝගාවචරයාගේ ආකල්පය විය යුත්තේ ඒකයි. ඒක නිසා තමයි බුදුපියාණන් වහන්සේ වෙන තැනකට යවන්නේ නැතිව-‘එහෙනම් මහණෙනි මම හොඳ තැනක් සොයා දෙන්නම් මෙය විදියේ කරදර නෑ’ කියල, එහෙම කියන්නේ නැතුව, එතෙන්ටම යන්න කියල ප්‍රකාශ කළේ. ඒ වගේ හැබැයි, මෙතන වෙනසකට තියෙන්නෙ ඒ මාරයුද්ධ සඳහා ආයුධය හැටියට බුදු පියාණන්වහන්සේ දුන්නේ මොකක්ද. අන්න ඒක ගැන තමයි අපි ඇත්ත වශයෙන්ම මේ කාලේ කල්පනා කරන්නට ඕන. යුද්ධය කියල හිතන කොට අපට හිතට එන්නේ මහා ආයුධ ගොන්නක්. ලෝකයේ ඒ ඒ යුගයේ සම්මත ආයුධ ගොන්නක් හිතට එන්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ මේ සංසයාවහන්සේලා ඇහුවාම මොකක්ද ස්වාමීන්වහන්ස අපි ගෙන යන ආයුධය කියල, ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ මෛත්‍රිය. ඒ ආයුධයෙන් තමයි හිත තැන්පත් කර ගත්තේ. අන්න ඒක අපි කල්පනා කරන්න ඕන. එයින් අර සමථ පක්ෂය සම්පූර්ණ උනා සංසයාවහන්සේලාගේ. ඒ වගේම පාඩමක් ඉගෙන ගත්තා. අපි යම්කිසි පරිත්‍යාගයක් කරන්ට ඕන සසරින් මිදෙන්ට නම්. මේ ශරීරය අල්ලගෙන, මේ බිඳෙන මැටි භාජනයක් පරිස්සම් කරගන්න හිතාගෙන, මේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තොත් කවදාවත් අපට නිවන් දකින්න බෑ කියන අවබෝධය ඒ සංසයාවහන්සේලාට එන්න ඇති ඒක තුළින්ම. ඒක නිසා තමයි සමාධිමත් උන හැටියෙම ඊළහට ඒ ස්වාමීන්වහන්සේලා විදර්ශනාවට සිත යොමුකළේ. ඉතින් “කුම්භූපමං කායමිමං විදිත්වා”.එතකොට මේ සංසයාවහන්සේලාගේ අදහස අනුවම, ඒක තහවුරු කරමින්, තව දුරටත් ඒ අදහසින් ප්‍රයෝජනය ගන්න හැටියට බුදු පියාණන් වහන්සේ වදාළා. මේ කය බිඳෙනසුළු මැටි වළඳක් වගේ බව තේරුම් අරගෙන, ඊළහට “නගරූපමං චිත්තමිදං ඨපෙත්වා” ඇත්ත වශයෙන් රැකගත යුත්තේ, නගරයක් වගේ රැකගත යුත්තේ, මේ සිතයි. මේ සිත රැකගැනීමේ වටිනාකමයි ඊළහ පදයෙන් ප්‍රකාශ කරන්නේ. රැකගත යුතු නගරයක් හැටියට මේ සිත ඒ තත්ත්වයේ තබාගෙන, ඊළහට- “යොධෙථ මාරං පඤ්ඤායුධෙන” ඉන්න ඊළහට සටන් පාඨය එනවා. මාරයා එක්ක යුද්ධ කරන්න ප්‍රඥා ආයුධයෙන්. ඉස්සෙල්ල දුන්නේ මෛත්‍රී ආයුධය, සමථය සඳහා. දැන් කියන්නේ ප්‍රඥාආයුධයෙන් මාරයා සමඟ සටන් කරන්න. ඊළහට-“ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා” සටන් කරල යමක් දිනා ගත්තා නම්, ඒක ආරක්ෂා කරගන්න. හැබැයි එතන පැලපදියම් වෙලා ඉන්න එපා. ඒකම අල්ලගෙන එතන නවතින්ට එපා. එහි ඇලී සිටින්නට එපා. අන්න ඒ පද දෙකේ විශේෂයෙන්ම භාවනායෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් අවවාදයක් ගැබ් වෙනවා. එතකොට “යොධෙථ මාරං” කවුද මේ මාරයා-ප්‍රඥාව කියන ආයුධයෙන් සටන් කළ හැකි මාරයා කවුද? මාරයා කියල කියන කොට සමහර විට ඔය තමන් දුටුව නොයෙකුත් චිත්‍ර ආදියෙන් කෙනෙකුට නොයෙකුත් විදියේ රූප සිතට එන්ට පුළුවනි. නමුත් ඇත්ත වශයෙන් ගැඹුරින් කල්පනා කළොත් යෝගාවචරයාට සිටින නියම මාරයා තමයි සිතිවිල්ල-“විතර්කය” කියල කියනවා ඒකට. විතර්ක, මේ මාරයා එක්ක පිටිපස්සෙන් මහා මාර සේනාවක් ගලාගෙන එනවා. මේ තම තමන්ගේ සිත ගැන හිතල බලනවා නම් අපේ සිත ක්‍රියා කරන ආකාරය. විශේෂයෙන්ම ක්ලේශයට වැටුනහම. කොයි තරම් ශීඝ්‍රයෙන් විතර්ක ධාරාවක් ගලාගෙන එනවද? ඒවට යටවෙලා තමයි අපේ ක්‍රියාකාරීත්වය අනුව අපි මේ මහා පාප ගොන්තක පැටලිලා නිරය තිරිසන් ලෝක ආදිය කරා යන්නේ. එතකොට මාරයා මෙන්න මේ විතර්කයයි. මාර සේනාව විතර්ක සේනාවයි. ඉතින් මේ මාරයා එක්ක සටන් කරන්න ඕන ප්‍රඥා ආයුධයෙන්. මොකක්ද මේ ප්‍රඥාආයුධය? ඊළහට අපි ඒක ගැනත් හිතල බලමු. ගැඹුරෙන් කල්පනා කරල බැලුවොත් ප්‍රඥා ආයුධය කියල කියන්නේ අර යෝගාවචරයාට කරන්ට සිදුවෙලා තියෙන විශේෂ කටයුත්ත. මොකක්ද? ‘මෙනෙහි කිරීම’. ‘මනසිකාර’ කියල ඒකට කියනවා. මේ අපේ සිත ක්‍රියා කරන ආකාරය-මේ හැම දෙයක්ම-මෙනෙහි කිරීම තුළින් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. මොකද, මෙනෙහි කිරීම තුළින් අර විතර්ක වේගය කැඩෙනවා. මේක මේකයි, මේක මේකයි කියල එන එන එකක් පිළිබඳව සිහියෙන්, සිහි නුවණින්-සිහියත්, සම්පජඤ්ඤයත්, දැනුවත්කමත් අනුව-ඒවායේ යථා තත්ත්වය තේරුම් ගන්නවා. ඒ අවස්ථාව තුළ අර වේගයෙන් දුවන විතර්ක ධාරාව මැඩෙනවා. ඉතින් ඒ විදියට මාරයා සමඟ-මේ විතර්ක මාරයා සමඟ-හිතට ගලා එන විතර්ක ධාරාව-මේවා අයාලේ යන්නට නොදී මේවා පිළිබඳ යම්කිසි පාලනයක් කරගන්නට ඕන නම් මෙනෙහි කරන්ට ඕන. තරහක් ආවා-මෙන්න තරහ සිතක්. ඊළහට ඒ වගේම ඇහ, කණ, නාසය, දිව, කය, සිත කියල කියන මේ දොරවල් හයට එන අරමුණු-මේවා ඒ ඒ තැන්වලම මෙනෙහි කිරීමයි. යෝගාවචරයෙකුට කරන්ට තියෙන ඒ භාවනාවට-විදර්ශනා භාවනාවට-අදාළ ක්‍රියාව මෙනෙහි කිරීමයි. සංස්කාර මෙනෙහි කිරීමයි. මේවා සංස්කාර හැටියට හිතාගෙන-සංස්කාර කියල කියන කොටස් අර බිඳී යන බව එතනින්ම හැඟෙනවා. බිඳී යන දේ නිත්‍ය හැටියට නොගෙන ඒ ඒ තැනම ඒවා පහළ වෙන හැටි, ඇතිවන හැටි සුලු වෙලාවක් පවතින හැටි-ඉතාමත් සුලු ක්ෂණයක් තරම්-ඒ මෙනෙහි කිරීම අනුව, පෙනෙනවා. එනවා පවතිනවා. නැතිවෙල යනවා. ඔන්න ඔය ඇතිවීම් නැතිවීම් ස්වභාවය තමන්ගේ විත්ත සන්තානය තුළින් දැකීමම තමයි විදර්ශනා භාවනාවේ මූලික කටයුත්ත. එතකොට ඒක කරන ඒ මෙනෙහි කිරීමයි, මනසිකාරයයි, මෙතන ප්‍රඥාව හැටියට දක්වලා තිබෙන්නෙ. විදර්ශනා භාවනාවේ ඇත්තවශයෙන්ම කියනවා නම් පරමාර්ථය මේ නාම රූප ධර්ම තේරුම් ගැනීමයි. මේ මුළු මහත් ලෝකය පිළිබඳව අපේ අවබෝධය අපි ලබන්නේ මේ නාමරූප ධර්මයන් පිළිබඳව හරියාකාරව තේරුම් ගැනීමෙන්. නාම ධර්ම කියල කියන ඒවා මේ කාටත් හිත දිහා බැලුවත් හඳුනාගන්න පුළුවන් දේවල්. වේදනා කියන එකට අමුතු වචනයක් ඕන නෑ. කවුරුත් දන්නවා වේදනා කියන කොට සැප වේදනා දුක් වේදනා පමණක් නොවෙයි මධ්‍යස්ථ වේදනා-හැම එකක්ම. සංඥා-හැඳිනීම. ඒකට කියන්න පුළුවන් සංඥාවල්. වේදනාව අනුව නොයෙකුත් හැඳිනීම් ගන්නවා. ඊළහට හැඳිනීම් අනුව චේතනාවල් ඇති වෙනවා. නොයෙකුත් චේතනා. චේතනා කියන එක කවුරුත් දන්නවා. ඊළහට ස්පර්ශය. මේවායේ හැපෙන තැනක් පිළිබඳව, යම්කිසි ස්පර්ශයක් පිළිබඳව, හැඟීමක් එනවා. ඊළහට තිබෙනවා මනසිකාර කියල-මෙනෙහි කිරීම. මෙන්න මේ කියාපු ධර්ම පහ බොහෝ විට නාම ධර්ම හැටියට ගන්නවා: ඊළහට රූපධම් හැටියට දක්වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියල-අපි සතර මහා භූතයන් කියල කියන අපේ මේ ශරීරත් බාහිර දේවලුත් සකස්වෙලා තිබෙන ඒ මහා භූත ධර්ම. ඒවා එකතුවෙලයි ඉතාමත්ම ආශ්චර්යජනක විදියට මේ විදියේ රූප මවල පෙන්වන්නේ. රූප මවල පෙන්නන්නේ මෙන්න මේ භූතයෝ හතරදෙනයි. මෙන්න මේ කාරණා ටික තේරුම් ගත්තොත් ඉතින් මුළු ලෝකයම තේරුම් ගත්තා වගේ තමයි. මේ සංසාරයෙන් මිදීමට උපකාර වන්නේ නාමරූප ධර්මයන් තේරුම් ගැනීමයි. එතකොට මෙතනත්, මේ ධර්මයන් අකුරෙන්, මනසිකාර කියල කියන මෙනෙහිකිරීම-අගට එන මෙනෙහි කිරීම-ඉතාමත්ම වැදගත්. ඒ මෙනෙහිකිරීම තුළින්ම මේවා තේරුම් ගන්නේ. එතනමයි මහා ආශ්චර්යවත් දේ තියෙන්නෙ. දැන් අපි මේ කියාපු ධර්ම පහ අපිට පුළුවන් මිනුම්, උපමාවක් අවශ්‍ය නම්, මේ අපේ අතේ ඇඟිලිවලට උපමා කරන්න. දැන්, හුලැඟිල්ල වගේ තමයි වේදනාව කියන එක. ඊළහට ඔය මුදු එහෙම දාන ඊළහ ඇඟිල්ල, ඔය මුදු පලඳින ඇඟිල්ල වගේ තමයි සංඥාව කියන එක. යම් යම් හැඳිනීම්. ඊළහට අර මැදැඟිල්ල-වගේ තමයි වේදනාව කියන එක. දබරැඟිල්ල වගේ තමයි ස්පර්ශය කියන එක. අපි එහෙම ගත්තොත් ඊළහට මනසිකාර කියන්නෙ මහපැඟිල්ලයි. එතකොත් ප්‍රධානයි. මේ මහපැඟිල්ල කියන එක-දැන් තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා-මහපැඟිල්ලට පුළුවන් සුලැඟිල්ලේ තත්ත්වය දැනගන්න. ඊළහට අනිත් ඇඟිලිවලත් ඒ වගේ අවශ්‍ය අවස්ථාවල තත්ත්වය දැනගන්න පුළුවන්. මහපැඟිල්ල ළංවෙලයි සුලැඟිල්ලට ඒ දෙකේ ස්පර්ශය ඇතිවෙන්නේ. ඊළහට අනිත් ඒවත් ඒ විදියටමයි. ඉතින් මහපැඟිල්ල අර වෙන්ව හිටියට මොකද එයා තමයි නායකයා, ප්‍රධානියා. මෙන්න මේ මහපැඟිල්ල උපකාර කරගෙන තමයි නාමරූප ධර්ම පිරිසම හඳුනාගන්නේ. හරියට-සමහරවිට අර කාණ්ඩයක් එකතුවෙලා යම්කිසි අපරාධයක් කළහම සාක්ෂි දෙන්න කෙනෙක් නැත්නම් මොකද කරන්නේ සමහරවිට උසාවිවල? අර ඒ වැරැද්ද කළ අයගෙන්ම කෙනෙකුට දෙනවා සමාව. සමාව දෙන්නේ ‘ඇත්ත කියන්න ඕන. ඇත්ත කිව්වොත් පමණක් සමාව දෙනවා’ කියල එතකොට ඒ තැනැත්තා ඉදිරිපත් වෙලා ඇත්ත කියන කොට තමනුත් අහුවෙනවා. නමුත් අර නඩුව ඔප්පු වෙනවා. අන්න ඒ වගේ මෙතන මේ නාම ධර්මයන් පහෙන්ම එකක් අපි උපකාර කරගන්නවා මේ නාමරූප ධර්මයන් තේරුම් ගැනීමට. මේ මෙනෙහි කිරීම කියන එකම උපකාර කරගන්නවා. හැබැයි ‘අයෝනිසෝ මනසිකාර’ කියල කියන වැරදි මෙනෙහි කිරීම නොවෙයි. හරි ආකාර මෙනෙහි කිරීමයි. ඒ කියන්නේ අර හොර මුලේ මුලදී හොරෙක් තමයි. නමුත් සාක්ෂිදෙන්න පටන් ගත්තට පස්සේ එයා සාක්ෂිකරුවෙක් හැටියට වගෙයි සාක්ෂි දෙන්නේ. අන්න ඒවගේ ‘අයෝනිසෝ මනසිකාර’ කියල කියන වැරදි මෙනෙහි කිරීම වලක්වලා නුවණින් මෙනෙහි කිරීමට යොමු කරනවා. එතකොට ඒ විදියට යෝනිසෝ මනසිකාරය යෙදීම තමයි මේ ප්‍රඥාව, මනසිකාරය, මෙනෙහි කිරීම, තුළින් මේවායේ යථා තත්ත්වය තේරුම් ගන්නවා. ඒ වගේම ඒ මෙනෙහිකිරීම තුළින්ම අර ධාතුන්-අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ ධාතුන්-හඳුනාගන්න අවස්ථාව ලැබෙනවා. අර තද බව මොලොක් බව ආදී වශයෙන් ඒවත් ස්පර්ශය ආශ්‍රයෙන් තේරුම් ගන්නවා. ඔන්න ඔය තමයි විදර්ශනා භාවනාවේ මූලික කටයුත්ත. එතකොට ඒක තමයි මේ මාර සේනා ජය ගැනීමට උපකාරවෙන ආයුධය. මනසිකාරය-මෙනෙහිකිරීම-නුවණින් මෙනෙහිකිරීම. ඒ වගේම දැන් ආයුධයක් නම්-දැන් කඩුහරබයක නම්, සතුරාගේ කඩුපහර වළක්වාගැනීමට ඉතාම ශීඝ්‍රයෙන් තමාගේ කඩුව මෙහෙයවන්න ඕන. ඒ වගේම මනසිකාරයෙදිත් මෙනෙහිකිරීම හැකිතාක් ඉක්මන් කරන්ට ඕන, ශීඝ්‍ර කරන්ට ඕන-මේ මාර සංග්‍රාමයෙන් දිනන්නනම්. ඉතින් ඒ ශීඝ්‍රකරන මාර්ගය තමයි කර්මස්ථානාචාර්යවරු අවස්ථානුකූලව දක්වන්නේ-ආරම්භයේදී මේවා මෙනෙහි කරන්නේ රූපයක් රූපයක්, ශබ්දයක් ශබ්දයක්, ගඳක් ගඳක්-යම්කිසි ගඳ සුවඳ ආදියත් ඒ විදියටමයි. රසක් රසක් ආදී වශයෙන් ඒවා මෙනෙහි කරනවා. සිතක් පවා. සිතක් ඇතිවුනාම මේක සිතක් කියල-යම්කිසි ක්‍රෝධ සිතක් එනවා නම් ඒක සිතක් කියල තේරුම් ගත්තහම ඒ අවබෝධය තුළින් අර විතර්ක ධාරාව කැඩෙනවා. අන්න ඒ වගේ ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම තුළින් තමයි මේ විතර්ක ධාරාව ජය ගන්න පුළුවන් වන්නේ. ‘යොධෙථ මාරං පඤ්ඤායුධෙන’ ඊළහට-“ජිතංච රක්ඛෙ අනිවෙසනො සියා” මෙතන ඉතාමත්ම පුදුම ගැඹුරු අදහසක් කියැවෙනවා. මෙතන ”ජිතංච රක්ඛෙ” කියල අර ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් සඳහන් කළේ මොකක්ද ? දැන් සාමාන්‍යයෙන් යෝගියෙකුට ඇතිවන බාධක හැටියට ගන්න පුළුවන්, තමන් ලබාගත්තු මෛත්‍රී සමාධිය පිළිබඳව ඇලුම් කිරීම. දැන් මේ ස්වාමීන් වහන්සේලාත් සමාධියෙන් යම්කිසි දියුණුවක් ලබාගන් අය. මොකද සමාධිය ඇතිවෙනකොට එත් එක්කම එනවා ලොකු සැපයක්. කායික සැපයක්. ඉනින් ඵ්ක ලෙකුවට ගන්නවා. මෙක තමයි ලොකු දේ කියල, මේක තමයි ඇත්ත වශයෙන්ම මේ නිවන් සැපය කියල. එහෙම රැවටෙන ස්වභාවයක් තියෙනවා. උපක්ලේශ ධර්ම කියලත් කියනවා. විදර්ශනා උපක්ලේශ කියලත් කියනවා. නොයෙකුත් ආලෝක පෙනෙනකොට ශරීරයට සුවය දැනෙනකොට, සංසුන් බවක් දැනෙනකොට, විශේෂ අවබෝධ එනකොට. මේ හැම එකක්ම තදින්ම අල්ලා ගන්නවා. දැන් ඉනින් මම නිවන් දැකලයි සෝවාන් වෙලයි කියල, ඔන්න ඔය විදියෙ ස්වභාවයක් තියෙනවා. ඵ්ක නිසා තමයි ”ජිතංච රක්ඛෙ” කියල කියන්නෙ. ඵ් ලබාගන්තු යම්කිසි සමාධියක් නියෙනවා නම් ඵ්ක රැකගන්නන් ඕන. නමුන් ”අනිවෙසනෙ සියා” - නමුත් එහි පැලපදියම්වෙල හිටියොත් කවදාවත් ඵ් තමන් බලාපොරොත්තු වෙන තත්වයට පැමිණෙන්න බැරිවෙනවා. ඵ්ක නිසා ඵ්වායේ පැලපදියම් වෙන්ට එපා. ඵ්කෙන් පරිස්සම් වෙන්ට ඔන. ඵ්කයි බුද්ධවචනය මෙතන විශේෂයෙන්ම. අර කර්මස්ථානවලට උපකාරවන විශේෂ උපදෙසක් මේ ගාථාවෙ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් යෝගවචරයෙක් මුළාවට පත්වෙනවා ගුරුඋපදේශ නැන්නම්. ඵ්කට හේතුව, අර කායික සුවය ආදී මෙතෙක් නොලැබූ දේවල් ලැබෙනකොට සමාධිය අංශයෙන්, එහි ගැලී සිටීමටයි සිත පෙළඹේන්නේ. ඵ්ක වළක්වාගන්ට ඕන. යුද්ධ උපමාවෙන් කීවොත්, දැන් යෝධයෙක් සටන් කරන අතරෙ බොහෝවිට නියම විදියට යුද්ධයක් පවතිනවා නම් තමන්ට බලකොටුවකුත් තියෙන්ට ඕන. ඵ් යෝධයා යම්කිසි අවසථාවක මොන යම් හේතුවකින් හරි ආයුධය කැඩිල බිඳිල ගියාම හරි, එහෙම නැන්නම් අහාර පාන ගැනීම් ආදී අවශ්‍යතාවයක් සඳහා හෝ එබඳු අවසථාවල ඵ් බලකොටුවට ගිහිල්ලා - පසුබැසලා - ඊළඟට ඵ් කටයුතු කරල විශ්‍රාම අරගෙන ආයෙත් යුද්දෙට යනවා. නමුත් ආයිත් බලකොටුවට ගියාට පස්සෙ එතන බුදියගන්න හිටියොත් කවදාවත් ඵ් සටන දිනන්න බෑ. අන්න ඵ් වගේ දැන් අර සමථයෙත් යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. සමථය කියල කියන්නෙ සමාධිය. නමුත් මේ බුදුපියාණන් වහන්සේගෙ මධ්‍යම ප්‍රතිපදාවෙ ආශ්චර්‍ය මොකක්ද? මේ හැම එකකින්ම ප්‍රයෝජනය ගන්නවා. නමුත් එකක්වන් අල්ල ගන්නෙ නෑ. පැලපදියම් වෙන්නේ නෑ. මොකද ධර්මයෙහි සඳහන් වෙනවා ලෝකයේ යම් යම් දෙයක් අල්ලා ගත්තොත් ඵ්කම අනුව මාරයා පසුපස ලුහුබඳිනවා කියලා. යං යං හි ලොකස‍්මිං උපාදියන‍්ති < br/> තෙනෙව මාරො අන‍්වෙති ජන‍්තුං < br/> (සුත්ත නිපාන, 1108) ලෝකයේ යම්කිසි සුලු දෙයක් හෝ අපි අල්ලා ගත්තොත් ඵ්ක අනුව මාරයා පසු පස්සේ ඵලවා එනවා කියලා කියනවා. අන්න ඵ් වගේ තමයි සිතේ ස්වභාවය. මාර සටන කියල කියන්නෙ ඵ්කයි. හැම තිස්සෙම බලන්නෙ මේ සිත, සංස්කාරවල ලැගගන්න. අල්ලාගන්න. එබඳු ඵ් අල්ලා ගන්න ස්වභාවය වළක්වන්න පුළුවන් වෙන්නෙ අර මෙනෙහි කිරීම තුළින්. ශීඝ්‍රයෙන් මෙනෙහි කරන කොට අර අල්ලගන්න ස්වභාවය සිඳිල ඵ්වා ගිලිහිල යනව, මෙනෙහි කිරීම තුළින්. මෙනෙහි කරනවා, ඊළභට ඵ්ක යන්න හරිනවා, අන්න ඵ් විදියට, ඵ්කෙ ස්වභාවය වටහා ගැනීම තුළින් ඵ් මුළාව ඉවත් කෙරෙනවා, මුළාව තිබෙනවා නම්, එහෙම පිටින්ම ඵ්ක අල්ලාගන්නයි කෙනෙක් පෙළඹෙන්නෙ. මනසිකාරය තුළින්, ප්‍රඥාව තුළින් එහි අවබෝධය එනකොට ඵ්ක අල්ලාගන්න යොමුවෙන්නෙ නෑ. ඵ්කෙ අනිත්‍ය ස්වභාවයයි, එතකොට වැටහෙන්නෙ. එන යන දේවල් බව වැටහෙනවා. අන්න ඵ්ක ආශ්‍රයෙන් එතකොට, කෙනෙකුට ඵ් “විදර්ශනා වීථියේ” ඉදිරියට යන්න පුළුවන් වෙනවා. විදර්ශනා වීථියේ, විදර්ශනා චිත්ත වීථියේ - ඵ්කට චිත්ත වීථි කියලත් කියන්න පුළුවන් - විදර්ශනා වීථියේ - ඉදිරියට යන්න නම් අර තමන් ජයගත්තු ඵ්වායෙ ඇලී ගැලී සිටින්නට එපා. ඵ්වා උපකාර කරගෙන, ඵ් සමාධි ශක්තිය යොදාගෙන, ඊළඟට ඵ්වායෙ ඇලෙනවා වෙනුවට උපේක්ෂාව මුල්කරගෙන - උපේක්ෂාව උපකාර කරගෙන - අර ධර්ම තත්වය තේරුම් ගන්න කියන එකයි බුදුපියාණන් වහන්සේගේ අනුශාසනය මේ ගාථාවෙන්. එතකොට, “ජිතඤ්ච රඛෙ අනිවෙසනො සියා” ඒවායේ පැලපදියම් වෙන්ට එපා කියන එක. මේ සිතේ ස්වභාවය හැම තිස්සෙම ගෙවල් හදන එක. ගෙවල් හදන්න බලනා සිත. බුදුපියාණන් වහන්සේ මේ “නිවෙසන” කියල කියන්නේ ගෙයක් කියන අදහසින්. අර පැලපදියම්වීම කියන අදහස හා සම්බන්ධයි. දැන් එතකොට බුදු පියාණන්වහන්සේගේ ධර්මය අපි නුවණින් කල්පනා කරල බැලුවොත්-හරියට ඒක දැන් ගොඩනැඟිල්ලක් හදනකොට අපි පලංචි බඳිනවා. පලංචි බඳින්නේ ගොඩනැඟිල්ල කරන ගමන්. නමුත් කවුරුවත් සිතිය යුතු නෑ පලංචිවල පදිංචි වෙන්න. පලංචිවල පදිංචි උනොත් ගොඩනැඟිල්ල තැනෙන්නේ නෑ. ඒවා හැම තිස්සෙම ඉවත් කර කර ඉහළට යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ධර්ම මාර්ගය-මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. එතකොට “ජිතඤ්ච රඛෙ අනිවෙසනො සියා” ඔන්න ඔය උපදෙස අපට, මේ සාමාන්‍යයෙන් ‘යෝගාවචර’ - එහෙම නැත්නම් භාවනාවේ යෙදෙන - අයට, ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණයක්. මොකද, බොහෝවිට අහන්ට ලැබෙනවා භාවනා යෝගීන් අතර, කෙනෙකුගේ ප්‍රථිපල ගැන අහනකොට, බොහොම සතුටින් ප්‍රකාශ කරනවා මට මෙහෙම මෙහෙම තියෙනවා කියල. නමුත් මුලාවුන බව දන්නෙ නෑ. විදර්ශනා උපක්ලේශවලට යටවෙලා. ‘ඔන්න හොඳට ආලෝක පෙනෙනවා. හරි පුදුම සැපයක් තියෙනවා. ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ඉඳගෙන. පැය ගණන් ඉන්න පුළුවන්.’ නමුත් එතන ලැගගත්ත. ඒ ලබා ගත්තු අර සමාධියෙ ලැඟ ගත්තා. ඉදිරියට ගමනක් නෑ. ඒක නිසා තමයි “අනිවෙසනො සියා” අර මෙනෙහි කිරීම තුළින් තමයි අවසානයේ අපට මේ සටන ජයගන්න පුළුවන් වන්නෙ. මොකද, අල්ලගත්තු තැනම මාරයා. ඒතනම මාරයාට යටවෙනවා. ඔය විදියේ මහ පුදුම ධර්මයත් මෙතන තියෙන්නෙ. එතකොට ඒ ගාථා ධර්මය අනුවත් අපට හිතාගන්න පුළුවන් මේ විදර්ශනා භාවනාවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය හෙළිකර ගැනීමට උපකාර වෙන මේ මනසිකාරය කොයිතරම් වැදගත්ද කියල. හැම එකක්ම දැන් මේ මෙනෙහි කිරීම තුළින්ම අහුවෙනවා. අමුතුවෙන් වචන වශයෙන් නොකිවත් ඒ සංස්කාර ධර්මයන් ඇවිල්ල මොහොතක් ඉතාම සුලු වේලාවක්, ක්ෂණයක්-පැවතිලා නැතිවෙල යන ආකාරය දකිනකොට මේවායේ අනිත්‍ය ස්වභාවය පැහැදිලි වෙනවා. ඒ වගේම, යමක් අනිත්‍ය නම්, වෙනස් වෙනවා නම්, එතන සැපයක් සොයාගන්ට බෑ-එය පෙරලෙනවා නම්, බිඳී යනවා නම්. අන්න ඒක නිසා ඒ දුක්ඛ ස්වභාවයක් වැටහෙනවා. එබඳු ඒ දෙයක් ‘මමය’ ‘මාගේය’ කියල ගැනීම මෝඩ කමක් බවත් තමන්ට අවබෝධ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ ත්‍රිලක්ෂණය එතකොට ප්‍රත්‍යක්ෂය තුළින්ම අවබෝධ කරගන්නට නම් අර මෙනෙහි කිරීම උපකාරී වෙනවා. මෙනෙහි කිරීම ඉතින් අර කියාපු විදියට ආරම්භයේදී රූපයක් රූපයක්. ශබ්දයක් ශබ්දයක්. ආදී වශයෙන්, ඒ කියන්නේ, සාමාන්‍ය ලෝකයේ නම්, අන්න කාර් එකක් අන්න අසවල් කෙනෙක් කියල නමින්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, ඊළහට තවත් ඕන නම් ඒ පුද්ගලයින් පිළිබද විස්තර, ඕවා සාමාන්‍ය ලෝකයේ, එදිනෙදා ව්‍යවහාර ලෝකයේ ඕන. නැතිව බෑ. නමුත් විදර්ශනා යෝගියා ඕවයින් ඉවත්වෙන්නට ඕන, නිවන් දකින්නට නම්. ලෝකෝත්තර වෙන්ට නම්. ලෞකික වශයෙන් නම්, මේ එන එන හැම දෙයක්ම මේ නමින් හඳුනගන්නවා. ‘නිමිති’, ‘අනුව්‍යඤ්ජන’ කියල කියනවා. දකින අසන දේවල් පිළිබද අපි නිමිති ගන්නවා. ඒ නිමිති පිළිබද පාලනයක් නැතිකම නිසා තමයි මේ කෙලෙස් ධාරාවට යටවෙලා මේ දීර්ඝ සංසාරයේ අපි මේ නානාප්‍රකාර දුක් විඳින්නේ. එතකොට, මේවායින් බේරීමට නම් අර භාවනාවේ යෙදෙන යෝගියා විශේෂ උත්සාහයකින් අර නිමිති ගැනීමේ සිරිත කඩා දමන්ට ඕන. එකපාරටම කඩාදමන්ට බෑ ඒක. නමුත් ඒකට උපකාර වෙන හේතුවක් තමයි ‘සංඥාව’ කියල කියන හැඳිනීම. අර යමක් පිළිබද මූලිකව යම්කිසි විඳගැනීමක් එනවා. ඒක ආශ්‍රයෙන් හැඳින ගන්නවා. එතනින් තතර වෙන්නේ නෑ. ඊළහට මිය පිළිබද වේදනාවල් ඈතිවෙනවා. බොහෝවිට තරහ වේදනාවල්. සැපයට දැඩිව ඇතිවීමක් ඇතිවෙනවා. ඉතින් මෙන්න මේ හැම එකකම යථා තත්ත්වය අර මනසිකාරය තුළින් කෙනෙකුට අවබෝධ වෙනවා. ඔය විදියට කල්පනා කරල බලනකොට මේ මෙනෙහි කිරීම අර විදියට වචන ගණනාවකින් සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්නා දේ, මනසිකාරයේදී ඉතාමත්ම කෙටියෙන් තේරුම්ගත්ත උත්සාහ කරනවා, සංඥාවලට අනුවෙන්නේ නැතිව. තනිකර ඒක ‘රූපයක්’, එහෙම නැත්නම් ‘සද්දයක්’ කියල එතනින් අතර වෙනවා. ‘ලත්තැන ලොප් කිරීම’ වගේ දෙයක් එතන කෙරෙන්නට ඕන. එතකොට, ඒ විදියට කරගෙන යනකොට, තවත් ඈතට යනකොට, විදර්ශනාවෙ දියුණුව ලබනකොට, මේවායේ අර දැනීම් මාත්‍රය පමණක් පවා මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. මේකෙ දැනීම් මාත්‍රය පමණක්. එතනින් තතර වෙන්ට. අර ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම. හරියට, අපි අර සඳහන් කළ කඩු හරඹයකදී, දෙන්නම එකවිදියට සටන් කරගෙන යන අතරේ සතුරා ජය ගන්න නම් සතුරා ආයුධය යොදන වේගයට වඩා වේගයකින් තමන් ඒක වළක්වන්න ශක්තිමත් වෙන්ට ඕන. අන්න ඒ වගේ, මේ මාර සේනාව කියන මහා පුදුම වේගයකින්-කියන්න බැරි තරම් වේගයකින්-දුවන සිතිවිලි වැළැක්වීමට නම්, මෙන්න මේ මෙනෙහි කිරීමත් ඒ වගේම ශීඝ්‍රයෙන් කරන්නට ඕන. මේ මෙනෙහි කිරීම දුර්වල උනොත් මොකද වෙන්නේ, අර සංඥාවලට අහුවෙනවා. සංඥාව කියන එක-බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තිබෙනවා-මිරිඟුවක්. මිරිඟුවක් කියන්නේ, ඒක දුටුවහම ඒක පස්සේ එළවනවා. දැන් මේක හරියාකාරව දැන ගන්නයි මේ සංඥාව කියල අපි ගන්නේ. මේක මොකක්ද කියල අපට දැනගන්න හිතෙනව. දැන්, පාරේ යනවා නම්-යම් කිසි ගමතක් යන්න සුදානම් වෙන කෙනෙක්, අපි හිතමු කොළඹ යන්න පිටත්වුනා. නමුත් මේ පුද්ගලයා ඒ යන අතරේ වාහනයෙන් වටපිට බලනකොට ඒ දකින දේවල්වල මේක කොහොමද මේ ලස්සන දේවල් මේ අවට තියෙන දේවල් කොයි ආකාරයද කියල බැලුවොත්-කවදාවත් කොළඹට යන්න හම්බ වෙන්නේ නෑ. දකින දකින දේ සිත යන යන තැන නැවතිලා මේක හොඳට සම්පූර්ණයෙන් බලන්ට ඕන කියල හිතුවොත්. අන්න ඒකයි. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘අපිට මෙහෙම උනොත් ජීවත් වෙන්ට බෑ නේද ලෝකයේ’ කියල. ලෝකයේ හැමදාමත් ජීවත්වෙන්ට පුළුවන්, ඕන නම්.නමුත් මේ සංසාරයෙන් මිදීමේ මාර්ගයයි බුදුපියාණන් වහන්සේ දක්වන්නේ. එක නිසා විශේෂයෙන්ම යෝගාවචරයා උත්සාහවත් වෙන්ට ඕන මේ කාර්ය - නිවන් කාර්ය - සඳහා අර කියාපු නිමිති ගැනීමේ පුරුද්ද කඩා දමන්ට. ඒක නිසා තමයි ඒක ක්‍රමානුකූලව කරන්නේ. ඇස්දෙක පියාගන්නවා නොවෙයි. කන්දෙක වහගන්නවා නොවෙයි. මේ ඉන්ද්‍රියයන් පාලනය කර ගැනීම සඳහා පළමුවෙන් අර කලින් අහවලයි අහවල් අහවල් දෙයි කියල හිතන ඒ සංකල්ප ඉවත් කරල, ලෞකික නාම ආදිය ඉවත්කරල, මේක ‘රූපයක්’ ‘සද්දයක්’ කියල එහෙම හිතල පටන් ගන්නවා මෙනෙහි කිරීම. එහෙම කරගෙන යතකොට ඈතට යනකොට පෙනෙනවා මේකත්, කොයි ආකාරයෙන් නමුත් මේකත්, සංඥාවේ මිරිඟුවට අහුවීමක්-ටිකක් හරි. ඒ විදියට යම්කිසි අවස්ථාවක අර ස්පර්ශීමාත්‍රය, අර දැනීම් මාත්‍රය, එතෙන්දීම-මේ සිත-අර මනසිකාරය තුළින් ඒ සිතිවිලි ධාරාව-කඩන්න පුළුවන් ශක්තියක් කෙනෙකුට දියුණු කර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තුළින් තමයි ඇත්ත වශයෙන්ම මේ සංස්කාරවල ඇතිවීම් නැතිවීම් ස්වභාවය හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්ට පුළුවන් වෙන්නේ. මාර්ගඵල අවබෝධය ආදී තත්ත්වවලට පවා යන්න පුළුවන් වෙන්නේ. එතකොට එබඳු කාරණා රාශියක් මෙකෙ අඩංගු වෙනවා, මේ ගාථාවෙ. අපි කල්පනා කරන්ට ඕන ඉතාමත්ම දුර්ලභ බුධ්ධෝත්පාද කාලයක් ලබාගෙනයි අපි මේ ජීවත් වෙන්නෙ, මනුෂය ආත්ම භාවයක් ලබාගෙන. භාවනාව කියන එක කොතෙකුත් අහන්ට ලැබෙනවා. හැම දෙනෙක්ම කරනව කියලත් කියනවා. නමුන් ඵ් භාවනාවෙ ඉලක්කයන් බොහෝවිට අර බුදුපියාණන් වහන්සේ පුකාශ කළ ආකාරයට මේ සසර දුකින් මිදීම සඳහා උපකාර වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් සමහරවිට කය සතප්පවා ගැනීම, කායික වශයෙන් නොරෝගී සුවය ලබාගැනීම, එහෙම් නැන්නම් හොඳ හොඳ දර්ශන දැකීමට, තවත් නොයෙකුත් විදිය් ලෞකික දෙවල් සම්පූර්ණ කරගැනීමට, ලෙඩ සුවකර ගැනීම් ආදියට, ඔය විදියේ පරමාර්ථ වල සිරවෙලා තිබෙනවා. ඵ්වා තමයි අර පැලපදියම්වීම්, ඵ් වෙනුවට කරන්නට තිබෙන්නෙ යම්කිසි සමථ කර්මස්ථානයක් තුළින් සමාධි මට්ටමක් ඇතිඋනා නම්, එතෙන්දි ඵ් සමාධියෙ තිබෙන ආදීනව සළකන්නට ඕන. හැම දේකම තිබෙනව ඔය අස්වාද පක්ෂයත් ආදීනව පක්ෂයත් - බුදුපියාණන් වහන්සේ පුකාශ කරල නියෙනව, ලෝකයේ තියෙනවයි ආස්වාද, ආදීනව, නිස්සරණ කියල තුනක්. මේවයේ හොඳ පැත්තකුත් නිබෙන්න පුළුවන්. නමුත් ඵ් එක්කම ආදීනව රාශියකුන් තියෙනවා. ඵ්ක නිසා මෙයින් ඉවත්වෙන්නට ඕන - නිස්සරණ- මේ හැම එකකින්ම ඉවත්වීමයි මෙතනින් අදහස් කරන්නෙ. අල්ලාගැනීම තුළ තියෙන්නෙ පැවැත්මයි. අතහැරීම තුළ තිබෙන්තෙ නැවැන්මයි. අන්න ඵ්ක තේරුම් අරගෙන, එතකොට , ලෝකයේ මේ ඇතිවීම් - නැතිවීම් ස්වභාවයට සිත හුරු කරනකොට, කෙනෙකුට අවබෝධය එනවා මෙක අල්ලාගත්තොත් ඵ් එක්කම පෙරලිලා අපි විනාශයට පත්වෙනවා කියල,. අන්න ඵ් විදියට, එතකොට අර සමාධියෙ පවා රැඳී සිටින්නෙ නෑ. බුද්ධකාලයේ පවා බුදු පියණන් වහන්සේ මුලදී අර තමන්ගේ ගුරුවරුන් හැටියට සිතාගෙන ළංවුනු අළාරකාලාම, උද්දකරාමපුත්ත ආදී ශාස්තෘන් පවා සමාධියෙන්, සමථයෙන්, ඉතාමන්ම උසස් තත්වවලට ගිහිල්ල හිටියා. නමුත් ඵ් අය ඵ්වායෙ ඇලී ගැලී සිටිය නිසා නිවන් දකින්න බැරිව හිටියා. එතකොට බුදුපියාණන් වහන්සේ කෙනෙක් පහළවීම තුළින් අපට ලැබෙන-ලෝකයාට ලැබෙන-ලොකුම ආලෝකය තමයි මේ විදර්ශනා ආලෝකය. මෙන්න මේ විදර්ශනා භාවනාවට අදාළ වටිනා කාරණායි මේ ගාථාවේ එතකොට ගැබ්වෙලා තියෙන්නෙ. ඒක අනුව අපි කල්පනා කරන්ට ඕන, අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්ම මාර්ගයට බැහැල-එදිනෙදා ජීවිතයේදීත්-හැකිතාක් දුරට මේවායින් ඉවත්වෙන්නට උත්සාහවත් වෙන්ට ඕන. ඒ සඳහා විශාල පරිත්‍යාගයක් සමහරවිට කරන්ට සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව? දැන් විශේෂයෙන්ම ගිහි ජීවිතය ගතකරන පින්වතුන්ට විදර්ශනා භාවනා ආදී කටයුතු කරනකොට මහා ප්‍රශ්නයක් සමහරවිට පැන නගින්නට පුළුවන්. මේ සංකීර්ණ සමාජය ඇත්ත වශයෙන්ම දුවන්නේ අර සංඥා මිරිඟුව ඔස්සේයි. මිරිඟුවෙන් පෙළඹිලා මුවන් දුවන්න වගේ මේ ලෝකයා බලන්නේ-එහෙම පිටින්ම මේ ලෞකික පැත්තට නැඹුරුවනු නොවෙයි ලෞකික පැත්තට නැඹුරුවුනු ලෝකයා බලන්නේ-මේ මනුෂ්‍යයින් මුළාකරල, පිස්සන් බවට පත්කරල. එක්කෝ තම තමන්ගේ දේවල් විකුණාගන්න, තවත් දේවල්වලට යොමුකර ගන්න, ඇදගන්න. ඒ විදියේ බලවේග රාශියක් මධ්‍යයෙයි අපි මේ ජීවත් වෙන්නේ. එබඳු යුගයක, එතකොට යම්කිසි කාය විවේකයක් දැන් මෙබඳු දිතක පෝය දිනක වගේ, සිල් සමාදන් උනාම-ලැබෙනවා. තමන්ගේ හිත අරවයින් මැත් කරගන්න පුළුවන් වෙනවා. ඒ මැත්කර ගැනීමේ පුරුද්ද වැඩිකරගන්ට ඕන. ඒක තුළින් තමයි “නෙක්ඛම්මය” ඇතිවෙන්නේ. අන්න එහෙම ඒ කය පිළිබදව. කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක, කියල විවේක තුනක් තිබෙනවා. ඒ කායික විවේකය ඇතිවෙනකොට ඒකෙනුත් යම්කිසි සැපයක් ඇතිවෙනවා. නමුත් ඒකෙන් සම්පූර්ණ වෙන්නේ නෑ. ‘අපි හොඳ විවේකස්ථානයක කිසි සද්දයක් නැතිව ඉන්නවා’ කියල කිව්ව පමණින් ඒක සම්පූර්ණ නෑ. ඊළහට කාය විවේකය තුළින් චිත්ත විවේකය ඇතිකර ගන්නවා. සිත මැත් කරගෙන. ඊළහට උපධි විවේකය. අර පඤ්චස්කන්ධය අතහැරීමයි අවසාන දේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල කියන, අපි මේ බදාගෙන සංසාරයේ දීර්ඝ කාලයක් ගමන් කරන, මෙන්න මේ ස්කන්ධ-මේ ගොඩවල් පහ අතහැරීමයි එතකොට මේ විදර්ශනාවෙන් කෙරෙන්නේ, නිර්වාණාවබෝධය කියල කියන්නේ. මේවා ගොඩවල් පහක් කියල කියන්නේ මක්නිසාද? සාමාන්‍ය ලෝකයා මේ රූපය එකක් හැටියටයි හිතන්නේ, ‘මගේ රූපය’ කියල. අපි ජායාරූපයක් ගත්තහම ‘මේ මගේ රූපය’ කියල අපේ හිතට බොහෝ විටම පළමුවෙන්ම එන්නේ එකයි. නමුත් මේක තුළ ඇති වෙනස්වීම් ශක්තිය, වෙනස්වෙන වේගය, වෙනස්වීම, අපිට පෙනෙන්නේ නෑ. ඒක නිසා තමයි අර කාලෙකට පස්සේ යාලුවෙක් ආවහම ‘අනේ දැන් කොයිතරම් වෙනස්වෙලාද’ කියල අහන්නේ. ඒ දැක්ක වෙලාවේ නෙවෙයි වෙනස්වුනේ. එහෙම නැත්නම් ඒ කාලය තුල හිටිගමන් වෙනස්වුනා නොවෙයි. අන්න ඒ විදියේ දෙයක්, මේ රූපය පිළිබදව. ඇත්තවශයෙන් රූපය ඉතාමත් හෙමින් වෙනස් වෙන්නේ. ඊටත් වඩා ශීඝ්‍රයෙන් මේ හිත වෙනස් වෙනව. ඉතාම ශීඝ්‍රයෙන් මේ හිත වෙනස් වෙනවා. නමුත් ඒ හිත පවා අපි මේ ආත්මයක් හැටියට ‘මමය’ ‘මාගේය’ කියල අරගෙන මුළාවක දැවටිලා ඉන්නවා-මුළු මහත් ලෝකයාම. ඔය ‘සක්කායදිට්ඨී’ ආදි වචනවලින් කියන්නේ. මේක ‘ආත්මය’ හැටියට සළකනවා. රූපය මගේ ආත්මයයි කියල හිතනව. වේදනාවත් පිළිබදවත් එහෙමයි. වේදනාවත් එකක් හැටියට අපි ගන්නවා. අපිට පේන්නේ එක පාරටම මේක එකක් හැටියට. නමුත් විදර්ශනා යෝගියා මේකට අර මනසිකාරය යොදන කොට අන්න පුපුරුගැසීම් රාශියක් මෙතන තිබෙන්නෙ. ඇතිව නැතිවෙන මහා පුපුරු ගැසීම් රාශියක් වගේ වේදනාව. රූපය පිළිබදව අර කළය පිළිබද උපමාව ආදියෙන් තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේ, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතුන් රාශියක් මගින් හැදුනු දෙයක් රූපය. ඊළහට වේදනාවත් අර වගේ. ස්පර්ශය අනුව ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස්වන, පොපියන, යම්කිසි සිදුවීමක්. දැනීම් රාශියක් එතන තියෙන්නෙ-වේදනා ස්කන්ධය කියල කියන්නේ වේදනා ගොඩක්. එකක් නොවෙයි. එතකොට ගොඩකට ‘මමය’ කියල කියන්නේ කොහොමද? ඒවා ඇතිවීම්-නැතිවීම්වලින් පෙළෙනව. ඊළහට සංඥාව හැඳිනීම. ඒකත් හැඳිනීම් ගොඩක්. සාමාන්‍යයෙන් අපි එක පාරටම අඳුනාගත්තා කියල කියනවා. ‘එකපාරටම මම හඳුනාගත්තා’ කියල සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවා. එකපාරටම නොවෙයි, ඉතාම ශීඝ්‍රයෙන් එතන ඒ හැඳිනීම් රාශියක් තුළින් අපි යමක් හඳුනාගන්නේ. ඒ හැඳිනීම් රාශියම අපි, ගොන්න, එකක් හැටියට ගන්නවා. ඒ වගේ තමයි චේතනාව කියන එක. චේතනාවත් ඉතාම ශීඝ්‍රයෙන්.චේතනා රාශියක් එතන තියෙන්නෙ. චේතනා ගොඩක්. ඒකට සංස්කාර කියල කියනවා අපි. වේදනා සංඥා සංස්කාර චේතනා ඇතුළු ඒ සියලුම දේවල් සංස්කාර. සකස් කිරීම් ගොඩක්. හිත ඇතුළේ තියෙන සකස්කිරීම් ශක්තියක්. අන්න ඒ විදියේ සකස්කිරීම් ගොඩක් මේක මමය මාගේය කියල හිතනව. ඊටත් වඩා බරපතල මුළාව තමයි මේ හිත-විඥානය. මේ “මමය” කියන හැඟීම හැංගිලා හිටින තැන. දැන් අපි දත්නවා සතුරාගේ බලකොටු බිඳගෙන බිඳගෙන ගිහිල්ලා අන්තිම බල කොටුව තමයි, විජිත පුරය වගේ එක තමයි, විඥානය. මෙතන තමයි ලොකුම මායාව තියෙන්නෙ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ වදාළා මේ විඥානය මායාවකට උපමා කරල. මායාවකින් ලේසියෙන් මිදෙන්න බෑ. අන්න ඒක නිසා බුදුපියාණන් වහන්සේ මේ පඤ්චස්කන්ධය ගැන දක්වපු උපමා පවා එදිනෙදා ජීවිතයේ කෙනෙක් ගැඹුරින් හිතනකොට ඒක තුළින් නිවන් දකින්නට පුළුවන් කියල බුදුපියාණන් වහන්සේ වදාළා. රූපය පෙණ පිඬකට උපමා කරල තියෙනවා. වේදනාව දිය බුබුලකට උපමා කරල තියෙනවා. පෙණ පිඬක් කියන එක, පෙණ පිඬ, අපට එකක් හැටියට ඝන සංඥාවෙන් ගන්න හිතෙනවා දැක්කහම. ලස්සනට තියෙනවා. නමුත් එතන තියෙන්නෙ පෙණ රාශියක්-ඉතාම සියුම්. ඒ වගේම වැස්ස වෙලාවට අර වතුරක් මත වැහිවතුර වැටෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවෙල නැතිවෙන දිය බුබුළු රාශියකට බුදු පියාණන් වහන්සේ වේදනාව උපමා කරල තියෙනවා. වේදනාව කියන එක පුපුරු ගැසීම් රාශියක් වගේ. ඊළහට සංඥාව-ඒක මිරිඟුවකට උපමා කරල තියෙනවා. අපි දැන් මේ අවස්ථාවෙත් සඳහන් කළා මිරිඟුව. ඒ කියන්නේ, හඳුනාගැනීම කියන එකේ කොනක් නෑ. මේක මොකක්ද කියල හොයාගන්ට යන ඒ දිවිල්ල-ඒක එහෙම පිටින්ම අර මිරිඟුව ඔස්සෙ යන මුවාගේ දිවිල්ලක් වගේ. අන්තිමට එතන දෙයක් නෑ. ඒක ඇදගෙන යන මායාවක්. එතන අන්තිමට මායාවකින් කෙළවර වන්නේ. ඔය ඉතින් සංඥාව. ඊළහට සංස්කාර කියන එක කෙසෙල් කඳකට උපමා කරල තියෙනවා. කෙහෙල් කඳක හරයක් නෑ, අරටුවක් නෑ. අරටුවක් නැති බව. එතන සකස්කිරීම් රාශියක්. සකස්කිරීම් රාශියක් එකක් හැටියට ගන්න ස්වභාවයක් ලෝකයේ තිබෙනවා. එතකොට මේ සිතතුළින් කෙරෙන ඒ සංස්කාර, සිත තුළ යන විතර්ක ගොඩයි. අවසාන වශයෙන් කල්පනා කරල බලනකොට, හිතෙන්මයි මේව සකස් කරල ගන්නේ. “මනොපුබ්බඞ්ගමා ධම්මා-මනොසෙට්ඨා මනෝමයා” කියන ඒ බුදු වචනයයි. හිතම පෙරටුයි. හිතෙන්මයි මේ ලෝකය අවසාන වශයෙන් බලනකොට මැවිල තියෙන්නෙ. ඒතරම් තත්ත්වයක්. මහා ආශ්චර්යවත් දෙයක් මෙතන තියෙන්නෙ. වෙන කිසිම ශාස්තෘවරයෙක් ප්‍රකාශ නොකළ ආකාරයට. අන්න එතකොට ඒ කියන මුළාවට හේතුව මොකක්ද? විඥානය මායාවකට උපමා කරල තිබෙනවා. මායා කාරයෙක් සතරමං සන්ධියක, ප්‍රසිද්ධ තැනක, මායාවක් දැක්වනකොට දකින හැම කෙනාම, කට ඇරගෙන, හා හු කියාගෙන, මේක මහා ආශ්චර්යයක් කියල රැවටිලා පුදුම වෙනවා. නමුත් මායාකාරයා විතරයි දන්නේ මෙතන එහෙම පිටින්ම බොරුවක් කරන්නේ. නැති දේවල් ගොඩක් පෙන්වන්නේ. අන්න එබඳු දෙයක් එතකොට මේ. නැති දෙයක් ඇති හැටියට මවා පාන්තෙ පෙන්නුම් කරන්නේ මේ අපේ හිතයි, විඥානයයි. මේ තත්වය සාමාන්‍ය ලෝකයාට තේරුම් ගන්ට බෑ. තර්කයෙන් තේරුම් ගන්න බෑ. උගතුන්ට උපාධිවලින් තේරුම් ගන්ට බෑ. මේක තේරුම් ගන්ට ඕන “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි” කියන ආකාරයට තම තමන්ගේ ප්‍රඥාවෙන්. “විඤ්ඤූහි” කීවේ නියම ප්‍රඥාව ඇති අය-නිකම්ම පණ්ඩිතයින් නොවෙයි. අන්න ඒ විදර්ශනා ප්‍රඥාවෙන් තම තමන්ම තේරුම් ගතයුතු දෙයක්. වෙන කෙනෙකුට ඒක කරන්නට බෑ. බුදුරාජාණන් වහන්සේටවත් කරන්නට බෑ. තමන් අර සියලූ යම්කිසි ශීලයක පිහිටලා, සමාධියක්-සමාධිමට්ටමක්-ඇතිකරගෙන, ඊළහට අර මනසිකාරයෙන්-නියම ගුරුහරුකම් ඇතිව විදර්ශනා භාවනාවට බැහැලා, ඒ මනසිකාරය තුළින් තමයි මේ විඥාන මායාවේ යථා තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ මායාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මේ කියාපු පංචස්කන්ධය අතහරිනවා කියල කියන්නේ මෙකයි. අතින් අල්ලා විසිකරන දේවල් නොවෙයි. මේ ප්‍රඥාවෙන් යම් අවස්ථාවක රූපස්කන්ධය රූපස්කන්ධයක් හැටියට වටහා ගත්තා නම්, මෙතන අල්ලගන්න දෙයක් නැති බව එතනම තේරුම් යනවා, අහුවෙන්නේ නෑ. මේක අල්ලගන්න අහුවෙන්නේ නෑ. ඊළහට වේදනාව පිළිබදවත් එහෙමයි. අර දිය බුබුළු උපමාව තමන්ට වැටහෙනකොට මෙහි හරයක් නැතිබව, මෙහි ගතයුත්තක් නැති බව තේරෙනවා. නිස්සාරත්වය. සංඥාව-මිරිඟුව, ඊළහට සංස්කාර-කෙසෙල් කඳ. . කෙසෙල් කඳේ අරටුවක් තියෙනවා කියල හිතාගෙන අල්මාරියක් හදන්න ඕන කියල හිතාගෙන පළවෙනි වරට කෙසෙල් කඳ උස්සාගෙන ගිහිල්ල ගෙදර - බලනකොට, ටිකක් අතගාල බලනකොට, මේකේ යට තව තට්ටුවක් තියෙනවා. ඔන්න ඔය විදියට දැන් එතකොට මේ බුදු පියාණන්වහන්සේ වදාළ මේ කාරණය විදර්ශනා යෝගියා තේරුම් ගන්නේ අර සම්මර්ශණය කියන වචනයෙන්. සම්මර්ශණය කියන්නේ හෙමින් අතගාල බැලීම වගේ දෙයක්. ලෝකයා කරන්නේ පරාමර්ශණය කියල කියන දැඩිව අල්ලා ගැනීමයි. මෙන්න මේ දැඩිව අල්ලාගැනීමේ ගතිය අත හැරලා සම්මර්ශණය කියන ඉතාමත්ම සියුම් ආකාරයෙන් මෙනෙහි කිරීමයි එතකොට විදර්ශනාවට උපකාර වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැලි පිහියක් එහෙම මදිනකොට මදින්න අල්ලන්නේ විසි කරන්න පුළුවන් විදියට වගේ. එහෙම අල්ලගෙන දැලි පිහිය කරගලේ ඉහළට පහළට අතුල්ලනකොට අර මුවහත මොට්ට නොවන ආකාරයටයි ඒක කරන්නට ඕනේ. මට්ටම් කිරීම කරනවා මිසක් මොට්ට වෙන ආකාරයට නොවෙයි. දැඩිව අල්ලා ගත්තොත් ඒ දැලි පිහිය මොට්ට වෙනවා. ඒ වෙනුවට අර සියුම් ආකාරයෙන් අල්ලාගෙන එහාට මෙහාට ඇඳිල්ලීම තුළින් තමයි දැලි පිහියක් මුවහත් කරගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදියටම මනසිකාරයත් අර එකකවත් බැඳෙන්නේ නැතිව, සංඥාවලවත් වේදනා ආදී ඒ කිසිවකවත් බැඳෙන්නේ නැතිව, එන එන ආකාරයට ඒ ඒ හැටියටම කඩු හරඹයක් වගේ මෙනෙහි කරල එතනින්ම නතර කරනවා. ඔය විදියට ගිහිල්ල කරයි මේ විදර්ශනා මාර්ගයෙන් අර සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් ඒ සංස්කාරයන්ගේ සමථය කියල කියන-“සබ්බසංඛාරසමථෝ” කියල කියන-සියලු සංස්කාරයන් සමතය කිරීමෙන් ලැබෙන පරම ශාන්ත නිර්වාණ සුඛයත් ප්‍රත්‍යක්ෂ කරගන්ට පුළුවන් වෙන්නේ. එතකොට ඒ බුද්ධ දේශනාව අනුව මේ පින්වතුන්ට භාවනාවට නැඹුරුවීමට උපකාර වන උපදෙස් රාශියක් අද මේ පොහොය දවසේ අසන්නට ලැබුනා. මේ ඇසීම් මාත්‍රයෙන් නොනැවතී, තමනුත් මේකට-මේ මාර්ගයට-බැහැලා, ඒවාට උපදෙස් ගුරු හරුකම් දෙන්න පුළුවන් අය ඇසුරු කරගෙන ඒවා ලබාගෙන මේ අතිභයානක සංසාර දුකින්ම මිදීමට උත්සාහවත් විය යුතුයි කියල සිතාගන්ට ඕන. ඒ වගේම, මේ අවස්ථාවේ හොඳ ශීලයක-යම්කිසි ශීලයක-පිහිටලා, මේ ධම්ශ්‍රවණය කරන අවස්ථාවෙත් සමාධිමත්ව යම්කිසි සිත තැන්පත් කරගැනීමක් ඇතිව, වැටහීම් බුද්ධියට ඉඩ දෙමින්, ශ්‍රවණය කිරීම තුළින් ශීල සමාධි ප්‍රඥා යම්කිසි තරමකට දියුණු වෙන්න ඇතැයි කියල සිතනවා. අන්න ඒ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින්, හැකිතාක් ඉක්මණින් මේ ධර්ම ශ්‍රවණ ආනිශංසය වශයෙන් සලකන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් තම තමන්ගේ චිත්ත සන්තානය තුළ දියුණු පවුණු කර ගැනීමෙන් අර බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ මේ සංසාර දුකින් එතෙරවීමට උපකාර වන පරම ශාන්ත නිර්වාණ අවබෝධය ලබාගැනීමට මේ ධර්ම ශ්‍රවණය උපකාරවත් වේවා කියා එහෙම අධිෂ්ඨාන කරගන්නට ඕන, ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ වගේම, දැන් මෙතෙක් වෙලා අපි ධර්ම දේශනාමය වශයෙනුත් ධර්ම ශ්‍රවණමය වශයෙනුත් ඇතිකර ගත්තු යම් කුසල සම්භාරයක් ඇතොත් ඒවා පිළිබඳව අනුමෝදන් වෙන ඒ ශාසනාරක්ෂක දේව මණ්ඩලය ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා වූ යම්කිසි සත්ත්වයින් සිටිනවා නම් ඒ හැම දෙනෙක්ම අප විසින් අද දින මේ අවස්ථාවේ රැස් කරගත් කුසල සම්භාරය අනුමෝදන් වේවා. අනුමෝදන් වී ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගනිත්වා කියල ප්‍රාර්ථනා කරන්ට ඕන. ඒ වගේම තම තමන්ගේ නමින් නැසී මියපරලොව ගිය සියලූ දෙනාත් මේ කුසල සම්භාරය අනුමෝදන් වෙලා දුක් කෙළවර කරගැනීමට ශක්තිය ලබත්වා! ඒ විදියට ප්‍රාර්ථනා කරගන්නට. දැන් එතකොට මේ අවස්ථාවේ මේ ගාථා කියල පින් පමුණුවන්නා. “එත්තාවතා ච අම්හේහි………”